Powered By Blogger

Thursday 25 April 2024

ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගනිිිමු ...!

 

 


රුපියලෙන් රුපියල එකතු කොට ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගනිිිමු ...!
 
නෙවිල් නාඔටුන්න (එන්.බී. නෙවිල්) කියන්නෙ 80 දශකයේ මුල පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිටි කොයි කාගේත් ආදරය දිනාගත් ශිෂ්‍ය ක්‍රියාධරයෙක්. නෙවිල් ඉංජිනේරු ශිෂ්‍යයෙක් වුණත් අනෙක් පීඨවල අය එක්කත් සම්බන්ධතා පැවැත්වූවා.
 
ඒ දවස්වල උදලාගම කොමිසම හරහා පණ්ඩිතරත්න උපකුලපතිවරයා සිසු දඩයමේ යෙදෙද්දී නෙවිල්ලා ඊට එරෙහිව සටන් කළා. වරක් යූ.ඇන්.පී. මැර සිසුන් පහර දුන් ශිෂ්‍ය පෙළපාළියක ඉදිරියෙන් සිටි නෙවිල් තුවාල ලැබුවා.
 
පසු කාලීනව විදුලි ඉංජිනේරුවෙක් ලෙස ඔහු විවිධ තනතුරු දැරුවා. අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. එය සාර්ථකව කරගෙන ගියා.
 
2010 අප්‍රේල් 04 දා නෙවිල් හදිසියේ අසනීප වී මිය ගියා. ඉන් පසුව බිරිඳ ක්‍රිෂාන්ති දරු තිදෙනා ලොකු මහත් කොට හදාවඩා ගන්න විශාල වෙහෙසක් දැරුවා. දරුවන්ගේ අධ්‍යාපනයට හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් නෙවිල්ගේ හිතෛෂින් උදව් කළා. විවාහ දිවියේදී රැකියාවක් නොකළ ඇය ඉන් පසුව තමන්ට කළ හැකි රැකියාවක් කරමින් පවුලේ ස්ථාවරත්වයක් පාදා ගැනීමට වෙහෙස වුණා.
 
දැන් ලොකු පුතා චෙස් උපදේශකයෙක් ලෙස වැඩ කරනවා. ඔහු චෙස් චැම්පියන් කෙනෙක්.
ලොකු දුව කොළඹ වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ.
බාල පුතා මොරටුව ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ.
 
නෙවිල්ගේ බිරිඳ ක්‍රිෂාන්ති හදිසියේ රෝගාතුර වුණා.
Autoimmune Hepatitis රෝගයෙන් පෙළෙන ඇයට අක්මා බද්ධ(Liver Transplant) නොකළොත් වැඩිකල් ජීවත් වෙන්නට නොහැකි බව වෛද්‍යවරුන් තීන්දු කළා. මුලින් ලබන සැප්තැම්බර් දක්වා ජීවත් වීමේ දින දී තිබුණත් අලුත්ම සෞඛ්‍ය තත්ත්වය මත අඩුම තරමින් ජූනි මාසයේ මැද භාගය වන විට ඇයට ශල්‍යකර්මය කළ යුතුයි.
ඉන්දියාවට ගොස් අක්මා බද්ධ කිරීමට වියදම රුපියල් ලක්ෂ 135 ක්.
දරුවන් මේ මුදල කෙසේ හෝ සොයාගෙන මව ජීවත් කරගැනීම සඳහා මූලිකත්වය ගත්තා. විවිධ අරමුදල් වලට ආධාර එකතු කළා. විශ්වවිද්‍යාලයේ හා සමාජයේ නෙවිල් නාඔටුන්න ගැන දැන සිටි, ඔහුට ආදරය කළ බොහෝ දෙනා උදව් කරන්න පටන් ගත්තා.
 
බාල පුතා තම මව වෙනුවෙන් අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කරනවා. ඒ සඳහා ක්‍රිෂාන්ති හා පුතා සමඟ තව දෙදෙනෙකු ජූනි 10 වනවිට ඉන්දියාවට යා යුතුයි. මේ ශල්‍යකර්මවලට අනුමැතිය දීම සඳහා ලොකු පුතා ශල්‍යකර්මය කරන දිනය වන විට ඉන්දියාවේ Rela රෝහලේ සිටිය යුතුයි.
මේ වන විට ලක්ෂ 100 ක පමණ අරමුදලක් ගොඩනගා තියෙනවා.
ඉදිරි මාස එකහමාරක් ඇතුළත හිඟ ලක්ෂ 35 කට ආසන්න මුදලක් සොයා ගත යුතු ඉලක්කයක් අප ඉදිරියේ.
 
මේ සුළුවෙන් හෝ හැකි පමණින් ඔබේ උදව් අවශ්‍ය මොහොතක්. රුපියලෙන් රුපියල එකතු කොට ක්‍රිෂාන්තිගේ ජීවිතය බේරාගන්න දායක වන්නැයි මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටිනවා.
ගිණුම් විස්තර-
අංක 8200053067 දරණ
කොමර්ෂල් බැංකු නුගේගොඩ ශාඛාවේ ගිණුම.
Swift Code-CCEYLKLX
--------------
A/C No: 8200053067
A/C Name. S M N K Samarathunga
Commercial Bank Nugegoda Branch
Swift Code: CCEYLKLX
 
-හෙන්රි වර්ණකුලසූරිය
(නෙවිල්ගේ සරසවි බැච්මේට්.)
 

Wednesday 17 April 2024

නිදහස් අධ්‍යාපනයද? අධ්‍යාපනයට නිදහසද?

 


මුදල් අය කරන විශ්වවිද්යාල එන්නට ඉඩ දිය යුතු නැතැයිද, රෝගීන් වෙනුවෙන් රජයේ උපාධිය ලැබූ දොස්තරලා වග කියන බවද, රෝගීන්ට අසාධාරණයක් සිදු වුවොත් වගකිවයුත්තේ දේශපාලකයින් බවද කියන්නෙකුට මා දුන් පිළිතුරක් හා ඊට අදාළ අදහස් ...
කාට හරි මගේ අදහස් තර්කානුකූලව නිශේධනය කළ හැකිද?
 
==============
අපිත් ඉන්නෙ මේ රටේ..දොස්තරලත් වග කියන්නෙ නෑ..දැන් ඔය කෙහෙළිය බේත් ගෙනාවෙ දොස්තරලා පිරිසක් නොදැනද? ඒ ගොල්ලො ලංකාවෙ උපාධිධරයො නොවෙයිද?
 
ලංකාවෙ උපාධිධාරී දොස්තරලාගෙ නොසැලකිල්ලෙන් රෝගීන්ට අකටයුතුකම් වෙලාම නැද්ද?
 
අනෙක කොතලාවල උපාධිය ගත් වෛද්යවරුන් අවුල්ද?
 
ඒ අයත් රෝගීන්ට බේත් කරනවා නේද? 
 
Z ස්කෝර් එකෙන් හැලිලා රජයේ වෛද්ය විද්යාල වලට නොතේරෙන අය සල්ලි දීල ඉගෙන ගත්තාම එකම උපාධියේ කොලිටි බහිනවද?
 
දැන් ඔය පිටරට විශ්වවිද්යාල වලින් අරං එන වෛද්ය උපාධි සුපිරිද?
 
 ඒ දොස්තරලා ලංකාවේ බේත් දෙද්දි උපාධි සහතිකේ පිටේ ගහලා නෑ නේද?
 
දුෂ්කර පළාත් වලින් අඩු ලකුණු අරං වෛද්ය උපාධිය කරන්න තේරෙද්දි දියුණු පළාත් වල ඉහළ ලකුණු අරං හැලෙන අයට මුදල් ගෙවා හෝ උපාධිය ගන්න අවස්ථාව නොදීමට හේතුව කුහකකම නොවේ නම් වෙන මොකක්ද?
 
අනෙක් ඕනෑම විෂයය ධාරාවක් යටතේ උපාධි ලබා ගන්න පෞද්ගලික විශ්වවිද්යාල ලංකාවේ පිහිටුවා තියෙද්දී වෛද්ය උපාධියට පමණක් තහංචි ඇයි? ඒ ඒකාධිකාරය බිඳිය යුතු නැද්ද?
 

 
 
 
 

Monday 1 April 2024

Mindfulness- සිහිය හා තරින්දි

 

 
2021 වසරේ මුල් භාගයේ මට ආරාධනාවක් ලැබුණා මානසික සෞඛ්යයට අදාළ අධ්යාපනික ප්රචාරාත්මක වීඩියෝ වැඩසටහන් 5 ක් නිර්මාණය කිරීමට.
 
මානසික සෞඛ්යය යටතේ විවිධ විෂයය පරාසයන් 5 ක්. 
 
මට මේ අලුත් අත්දැකීමක් වුණේ ලබා දෙන දත්ත මත රූප රචනයත් කළ යුතු වූ නිසයි. ඒ කියන්නේ නුහුරු විෂයයන් ගැන මටත් අවබෝධයක් ගන්න සිද්ධ වුණා.
 
එසේම මෙහි කොන්දේසියක් වුණේ ප්රේක්ෂකයා තිරයේ දකින දක්ෂ හා ප්රසිද්ධ නළු නිළියන් යොදා ගත යුතු බවයි. ඊට හේතුව ඔවුන් දෙන පණිවිඩ පහසුවෙන් ප්රේක්ෂක මනසට ග්රහණය වෙනු ඇති බවට මෙහි නිෂ්පාදන කණ්ඩායම විශ්වාස කිරීමයි.
 
වීඩියෝ වැඩසටහන් හතරකට තෝරාගත් නළු නිළියන් ගැන එකඟ වුවත් "Mindfulness-සිහිය" නමින් වූ මිනිත්තු 3 ක වීඩියෝවේ රඟපෑම සඳහා සුදුසු, තරුණ, සුන්දර, දක්ෂ රංගන ශිල්පිනියක් තෝරාගැනීම අභියෝගයක් වුණා.
 
මා ටෙලිනාට්ය නොබලන නිසා මෙය වඩාත් අපහසු වුණා. කීපදෙනෙක් පැවසූ නම් කීපයක් අතරින් මා ඒ වනවිට අසා නොතිබූ තරින්දි ප්රනාන්දු නමැති නිළිය ගැන සොයා බැලුවේ අන්තිමටයි. ඇගේ රංගනයක් දෙකක් දැකීමෙන් මගේ සිත ඇදී ගියා. නම අනුමත වුණා. 
 
"කරලා බලමු. දෙබස් නැති මේ රංගනය ලේසි නෑ..." ප්රමුඛ වෛද්යවරයා කීවා. 
 
තරින්දි මේ රංගනය විශිෂ්ට ලෙස නිම කළා. ඇය පිටපත ඉතා නිවැරැදිව තේරුම් ගත්තා. අනවශ්ය එක් අංග චලනයකින්, සාත්වික අභිනයකින් Mindfulness යන්න වැරැදි ලෙස අර්ථගැන්වෙන්න ඉඩ තිබුණා.
අද තරින්දි සම්මානලාභී ප්රකට නිළියක්. ඇය ඉතා වේගයෙන් ප්රේක්ෂක ආකර්ශනය දිනාගනිමින් ඉන්නවා.

එදා ඈ ප්රකට කළ රංගන කෞශල්යය පහළින් ඇති වීඩියෝවෙන් නරඹන්න.
 
 

Thursday 21 March 2024

අනූවේ පරපුරෙන් මා‌ගේ දේශය අවදි කරනු මැන !

  


 80 දශකය අවසන් වන විට ශ්‍රී ලංකාව භීෂණයෙන් වෙලී තිබිණ. ආර්. ප්‍රේමදාස ජනාධිපති ලෙස පත්වන විටද රට දෙකොන ගිනි ගත් විලක්කුවක් බව පැවසුවේ ඔහුමය. ප්‍රේමදාස කළේ ඒ ගින්න නිවීම නොව එය තව තවත් ඇවිලවීමය. උතුරේ මෙන්ම දකුණේ තරුණයින්ද තිරශ්චීන ලෙස ඝාතනය වූ අතර අපි අනූනමයෙන් ‌බේරුණු පරපුරක අහම්බෙන් ජීවත් වන්නට, නැතහොත් බෝනස් ජීවිත ගත කරන්නට වරම් ලද්දෝ වෙමු. "අනූවේ පරපුර" සංවිධානය ගොඩනැගෙන්නේද, "මාගේ දේශය අවදි කරනු මැන" නමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලය මූලික කොට ගෙන ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ ඇරඹෙන්නේද අළු මතින් නැගී සිටින ෆීනික්ස් කුරුල්ලන් පරිදිය. මෙවර "කතා කෝච්චිය" වෙන් වන්නේ "අනූවේ පරපුර" හා "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ පසුබිමේ වූ මගේ දායකත්වය සනිටුහන් කරන්නටය.

පහත වීඩියෝවෙන් ඊට සවන් දෙන්න. 

 අනූවේ පරපුරෙන් මා‌ගේ දේශය අවදි කරනු මැන !

 

 

Tuesday 12 March 2024

මගේ සරම ඇඳන් බොග දැමූ සයිමන්......!

 

යිමන් නවගත්තේගම මගේ සාහිත්‍ය ලෝකයේ වීරයෙක්. මට අනුව ලංකාවේ විශිෂ්ටතම නවකතාකරුවා.
 
අව්‍යාජ චරිතයක්. තමන් දරන අදහස වෙනුවෙන් එළිපිට පෙනී හිටියා. සමහර ලියවිලි තුළ ඔහු සිටියා.
 
මා 90 දශකයේ මුල කොළඹ මහජන පුස්තකාලයේ දේශන ශාලාවක පැවැති සාකච්ඡාවකදී ඇමිනුණා. ඒ වන විට මිනීමරු ප්‍රේමදාස ඝාතකයාගේ "ජනසවිය" වැඩසටහනට සම්බන්ධ වීම ගැන අප තුළ වූයේ දැඩි 
ප්‍රතිවිරෝධයක්.
 
එතුමා ලියූ කෙටිකතාවක චරිතයක් වූ ලේකම්වරිය සැබෑ තරුණියක බවත්, එයා එක්ක යහන් ගතවූ අත්දැකීම කෙටිකතාවේ ලියූ බවත් ඔහු ප්‍රසිද්ධ සභාවක කිව්වා.
 
එකල අප ජවිපෙ ගර්භාෂයෙන් ඉපිද පුහු සුචරිතවාදයක් කරපින්නාගෙන උන්නේ. ඒ මතයේ ඉඳන් තමයි මා ඔහු එක්ක පැටලුණේ. මේ ගැන රාවය පත්තරේටත් ලිව්වා. නිහාල් පීරිස් අකුරක් නොකපා පළ කළා.
 
එදා කොළඹ මහජන පුස්තකාලයේ එතුමන් සමඟ සාහිත්‍ය, දේශපාලන කාරණා ගැන හැප්පුණු මා ඊට වසර දහයකට පෙර 80 දශකයේ මුලදී නවගත්තේගම ශූරීන්ට හදිසි බොගක් දාන්න සරමක් දුන් සරසවි සිසුවා බව කිව්වේ නෑ.
 
ඔව්...අහම්බෙන් පැණිදෙනියේදී හමු වී අක්බාර්-නෙල් ශාලාවේ මගේ කාමරයට ඇවිත් මගේ සරමක් හැඳගෙන බොගක් දැමූ සාහිත්‍ය ලෝකයේ දැවැන්තයා සයිමන් නවගත්තේගම ශූරීන් ..
 
එය මට විශාල ගෞරවයක්... ටික දවසක් ඒ සරම සේදුවෙත් නෑ..
කොහොමත් ඒ කාලේ තිබුණු එකම සරම ලේසියෙන් හෝදන්නේ නෑ නොවැ.